නයිටින්ගේල් පරපුර
සුදු හිස් වැසුමක් හා සුදු නිල් මිශ්‍රිත නිල ඇඳුමක් ඇඳ දිවා - රෑ නොබලා සේවයේ යෙදෙන කාන්තාවක් පිළිබඳ කිවතොත් මුලින්ම මතකයට නැගෙන්නේ හෙදියකි. අප රෝගී වූ විට මවක මෙන් කරුණාවන්ත වී නිතර ඇප උපස්ථාන කිරීමට ඇය බැඳෘ සිටින්නීය. මෙසේ කරුණාවන්ත හෙදිය බිහිවූයේ කි‍්‍ර.ව 1820 මැයි 12 වැනි දින උපත ලැබූ ෆ්ලෝරන්ස් නයිටින්ගේල් මෙනවියගෙනි. ඉතාලි ජාතික කාන්තාවක් වූ ඇය තම මුළු ජීවිතයම හෙඳ සේවයට කැප කළාය. එතැන් සිට අද වන තෙක්ම බිහිවන හෙදියන් නයිටින්ගේල් සම්ප්රදාය අගයමින් කි‍්‍රයා කරයි. ලාංකීය හෙද සේවයේ ආරම්භය ලෙස නිෂ්චිත දිනයක් සඳහන් කිරීමට නොහැකිය පුරාණ පොතපතට අනුව රජවරු පවා වෙද හෙදකම් කොට තිබේ නමුත් නිල වශයෙන් ලාංකීය හෙදසේවය පිළිබඳ සටහනක් ඇත්තේ 1878 දීය. ඒ වෛද්‍ය සී.ජී.ඌරාගොඩ මහතා විසින් රචිත A History of Medicine in Sri Lanka නැමැති කෘතියේය. එහි සඳහන් පරිදි 1878 දී එංගලන්තයෙන් මෙරටට පුහුණු හෙදියන් දෙදෙනෙකු පැමිණ තිබේ. එම දෙදෙනාට පෙර මෙරට විදේශිය හෙදියන් සිටියද ලාංකීය කාන්තාවන් බඳවා ගැනීමක් සිදු නොවුනි.
නමුත් 1878 දී හෙදියන් දෙදෙනාගේ පැමිණීමත් සමඟ සැළසුම් සහගත හෙද අධ්‍යාපනයක් මෙරට ආරම්භවිය. ඒ අනුව 1879 දී සිසු හෙදියන් බඳවා ගැනීම සිදු විය. නීති මාලාවකට අනුව සැකසුණු කාලසටහනකට අනුව ඇය සේවය කළ යුතු වූවාය. සුදු පැහැති නිළ ඇඳුමෙන් සැරසෙන හෙදිය කියාපානුයේ සුපිරිසිදු චරිතවත් බවය. හිස්වැසුමේ ඇති රැළි කොටසෙන් ලොව පුරා සිටින හෙදියන්ගේ එකමුතු බවද එහි ඉදිරිපස වාටියෙන් මුළු විශ්වයද නිරූපණය වේ. එසේම ඇය පහනක් අතැතිව තම දිව්රුම් දීම සිදු කරයි. එම පහනින් කියැවෙන්නේ ඥානවන්ත බවත්, නයිටින්ගේල් මෙනවියගේ කි‍්‍රයාකාරිත්වය සිහිගැන්වීමත්ය. හෙදියකගේ වගකීම් බොහෝවෙයි. ඇය කරුණාබර විය යුතුය. එසේම කඩිසර, උද්යෝගී, තැනැත්තියක් ද විය යුතුය.
නිරන්තරයෙන් තමාට භාරවී ඇති වාට්ටුවට පැමිණ රෝගීන් පිළිබඳ සොයා බැලිය යුතුය. සාර්ථක මෙන්ම යහපත් සේවයක් වූ හෙද සේවය 1886 වන විට රජයට නිසි ආකාරයෙන් පවත්වා ගැනීමට අසීරු විය. එනිසා කතෝලික පල්ලියේ ආධාර ඇතිව රෝහල් සේවයට කන්‍යා සොයුරියන් බඳවා ගැනීමක් සිදුවිය. ඉන් අනතුරුව වරින් වර කතෝලික විවිධ නිකායන්ගෙන් හෙද කන්‍යා සොයුරියෝ ලංකාවට පැමිණියහ. නමුත් මොවුන්ගේ පාඨමාලාවල් එකිනෙකට වෙනස් විය. එම නිසා හෙද සේවයේ යම් යම් ගැටලු සහගත තත්ත්වයන් ඇති විය. කාලයත් සමඟ විවිධ ගැටලු වලට මුහුණ දුන් ලාංකීය හෙද සේවයට නැවතත් 1932 දී පමණ නැවත නව පනක් ලැබීය. ඉන් අනතුරුව 1939 මැයි 06 වනදා කොළඹ හෙද විදුහල ආරම්භ විය. මෙහිදී සිසුවියන් 100 කට එකවර අධ්‍යාපනය හැදෑරීමේ හැකියාව විය. මෙලෙස ආරම්භ වූ හෙද සේවාව අද වන විට දුර ගමනක් ගෙවා ඇත. ලාංකීය හෙදසේවාව විවිධ අංශ කරා පැතිර ඇති අතර ඔවුන්ගෙන් සමාජයට වන සේවාව අති මහත්ය. රෑ දහවල් නොසලකා අව්ව - වැස්ස නොබලා රෝගියෙකුට උපස්ථාන කරන කරුණාවන්ත හෙදියකගෙන් නිරන්තරයෙන් පිළිබිඹු වන්නේ ෆ්ලෝරන්ස් නයිටින්ගේල් ප්රතිපත්තියයි.
No comments:
Post a Comment