ඔබත් කුසගිනි නැතිව ආහාර ගන්නා කෙනෙක්

ඔබත් කුසගිනි නැතිව ආහාර ගන්නා කෙනෙක්ද?
ඇමක් දැමූ විට ඊට මසුන් අසුවන්නේ කෑදරකම නිසයි. මිනිසුන් මසුන්ට ඇම දමා සතුටු වුණත් තමාද ආහාරවල ඇමක් බවට පත්වී  ඇති වග වටහා ගෙන නැහැ.ඔබ ආහාර ගෙන අවසන් වූ සැනින් ඔබ ඉදිරියේ බිස්කට් ටින් එකක් තැබුවොත් දෑත ඒ දෙසට නිතැතින්ම යොමු වෙනවා නේද? ‘එකක් කනවා’ මෙසේ සිතන ඔබ දිගින් දිගටම බිස්කට් කමින් ටින් එකේ අඩක් හෝ හිස් නොකළොත් පුදුමයකි. වැරැදි ආහාර පිළිවෙතට හුරු වූවන්ගේ ගති ස්වභාවය එයයි.ජනගහනයෙන් 2% කටත් වැඩි ප‍්‍රමාණයක් බරපතල ලෙසින් වැරැදි ආහාර රටාවකට හුරු වෙලා. බර අඩු කර ගැනීමට නොහැකි බොහෝ දෙනෙක් මෙම කොට්ඨාසයට අයත් වෙනවා.කුස පුරවා ගැනීමට නොව සිත පුරවා ගන්නට ආහාර ගන්නා අය අවසානයේදී වැඩිපුර ආහාර ගැනීම ගැන පසුතැවිලි වෙයි.
කොහොමද මෙම පිළිවෙතින් අත් මිදෙන්නේ?එදිනෙදා ජීවිතයේදී ඇතිවන ගැටලුවලින් මිදෙන්න. නොසන්සුන්තාවය, මානසික ආතතිය නිසා වැඩිපුර ආහාර ගැනීමට පෙළඹෙන අවස්ථා තිබෙනවා.ආහාරයක් ගෙන පැය තුනකට පමණ පසු ඊළඟ ආහාර වේල ගැන හෝ අතුරු පස ගැන සැලැසුම් කර ගන්න. මෙසේ සැලසුම් සහගතව ආහාර ගන්නා විට හැඟීම්වලට වහල් නොවී ආහාර ගැනීමට පෙළඹෙනවා. වැරැදි ආහාර ගැනීමට වැඩිපුර පෙළඹෙන්නේ සැන්දෑ වරුවේ සිට රාති‍්‍රය දක්වා ඇති කාලයයි. උදය වරුවේ හරිහැටි ආහාර නොගැනීම නිසා මෙවැනි තත්ත්වයක් පහසුවෙන්ම උදා වෙනවා.තම ආහාර රටාව හඳුනා ගන්න. ඔබ රූපවාහිනිය නරඹමින් ආහාර ගන්නවා නම් මේදය අඩු ආහාර පාන තෝරා ගන්න. කුස පිරී තිබියදීත් කෑම කෑමට රුචියක් ඇති වුණොත් එම කැමැත්ත යහළුවකුට දුරකතනයෙන් ඇමතීම, රසවත් නව කතාවක් කියවීම, ආසා කරන චිත‍්‍රපටයක් නැරඹීම මගින් පලවා හරින්න.ආහාරයේ රසට වශීවූ කෙනකු නම් එම කෑදර ආහාර සුළු වශයෙන් ගන්නට ක‍්‍රමයක් සකසන්න. උදා: ඔබ චොකලට් වලට කැමැති නම් කුඩා චොකලට්ටුවක් මිලදී ගෙන එය කැබැලිවලට වෙන් කර ශීතකරණයේ තබන්න. කෑදරකම ඔබට නොදැනුවත්වම තුනීවී යාවි. පසුව කුඩා කැබැල්ලක් ගෙන සෙමෙන් සපයන්න.
මට නිවාඩුයි, ඕන තරම් කන්න පුළුවන්. මෙසේ සිතීමද වැරැදි පිළිවෙතට ආහාර ගැනීමට පෙළඹීමකි.නියමිත අන්දමට පෝෂ්‍ය ජනක ආහාර ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම අක‍්‍රමවත්ව ඉහළ පහළ යන්නේ නැහැ. රුධිරයේ සීනි මට්ටම ඉහළ පහළ යාම නිසා අනවශ්‍ය අන්දමින් ආහාර ගැනීමට පෙළඹේ. එනිසා සෑම ප‍්‍රධාන ආහාර වේලකම පෙ‍්‍රීටීන් අඩංගු ආහාර වැඩිපුර ගන්න. පලතුරු, එළවළු, හා කෙඳි සහිත ආහාර, ආහාර වේලෙහි අනිවාර්යය අංගයක් බවට පත් කර ගන්න. කෙඳි සහිත අහාර නොමැතිව බර හෝ තරබාරු බව අඩුකර ගැනීමට සිතීම, කුසගින්නේ සිටීමට මුල පිරීමකි.ඔබට යම් ආහාරයක් නොගෙන සිටීමට අවශ්‍ය නම් කවුරුන් හෝ එම ආහාරය පිළිගැන්වූ විට එය කෙලින්ම ප‍්‍රතික්ෂේප කරන්න. ‘මම දැන් ඕවා එච්චරම කන්නේ නැහැ’ වැනි පිළිතුරු දෙන්න එපා. එවිට ආහාර පිළිගන්වන්නා ඔබට ආහාර ගැනීමට බල කර සිටිනවා නියතයි.

No comments:

Post a Comment